'රත්මිණි වළල්ල' - ඇලෙක්සන්දර් කුප්රින්

Sunday, March 14, 2010 by සචී
"ගාලු නගරයේ වීදි දිගේ තරුණයන් හැටියට අප ගත කළ කාලයේ අපේ කතා බහට මාතෘකා වූ දහසකුත් එකක් දෑ අතර නිර්මල උදාර ප්රේමයද විය. ඒ කාලයේ අපේ පරමාදර්ශී කෙටි කතාව වූයේ ඇලෙක්සැන්ඩර් කුප්රින් ගේ 'රත්මිණි වළල්ල' යි. එය අවුරුදු දහස් ගණනකට වරක් පමණක් අප අතරින් එකකු වෙත එළඹෙන පිරිසිදු, ශුද්ධ, සදාතනික, දිව්යමය ප්රේමය ගැන කියන කතාවකි."
-සුන්දර නිහතමානි ද මැල් (1997/03/02 ලක්බිම)

අද ආයෙමත් කියෙව්වා ඇලෙක්සන්දර් කුප්රින් ගේ 'රත්මිණි වළල්ල'......මා කියවා ඇති කෙටි කතා අතුරින් බෙහෙවින් ම හද සසල කළ කතාවක්.....එවන් වූ බලාපොරොත්තු විරහිත, විරාගී, දිව්යමය ප්රේමයක් සැබැවින් ම පවතින්න පුළුවන්ද?... එසේ වී නම්, එය ලබන තැනැත්තා හෝ තැනැත්තිය මේ මිහිපිට සිටින අතිශයින් ම වාසනාවන්ත අයකු බවට විවාදයක් තියෙන්න බැහැ.....වෙහෙසට පත් නොවී නැවත නැවතත් කියවිය හැකි මේ කතාවේ, මගේ සිත තදින් ම ඇද බැඳ ගත් කොටස හෙවත් කතාවේ අවසාන කොටස් කීපය මේ විදිහට ඔබත් එක්ක බෙදා ගන්න හිතුණා........පහත තියෙන්නේ එම උධෘතයයි... උපුටා ගත්තේ පද්ම හර්ෂ කුරණගේ ගේ පරිවර්තනයෙන්......

‘ඔබ ජීවත් වන නිසා පමණක් මම ඔබට අතිශයින් කෘතඥ වෙමි. මම මා ගැන ම පිරික්සා බැලුවෙමි. එය රෝගයක් හෝ පිස්සුවක් හෝ නො වේ. එය කිසියම් හේතුවක් නිසා දෙවියන් විසින් මට ප්රදානය කරන ලද ප්රේමයයි.'

‘වේදනාව, දුක හා මරණය කරා බැගෑව ප්රීති සහගතව විනාශයට ගිය ජීවිතයක් මිහිරි නාදය තුළින් ඔබට පෙන්වමි. මැසිවිල්ල, අවලාදය හෝ ආඩම්බරකමේ ශෝකය හෝ වැනි කිසිවක් මම නොදන්නෙමි. ‘ඔබේ නාමයට ආශිර්වාද වේවා!' යි මම ඔබ වෙනුවෙන් යදිමි.'

'ඔව්, දුක, ලේ හා මරණය මම කල් තියා දකිමි. ආත්මයෙන් ශරීරය වෙන් කිරීම අමාරු යයි සිතමි. එහෙත් සුන්දර ප්රශංසාව, හැඟීම්බර ප්රශංසාව, සාන්ත ප්රේමය මම ඔබට දානය කරමි. ‘ඔබේ නාමයට ආශිර්වාද වේවා!'

‘ඔබගේ හැම පියවරක් ම, හැම මඳ සිනාවක් ම, හැම බැල්මක් ම, හැම අඩි ශබ්දයක් ම මම මෙනෙහි කරමි. මගේ අන්තිම සිහි කිරීම් මිහිරි ශෝකයක් තුළ - සුමුදු සුන්දර ශෝකයක් තුළ ගැබ් වී ඇත. එහෙත් මම ඔබගේ ශෝකයේ හේතුවක් නො වෙමි. දෙවියන්ගේ කැමැත්ත, ඉරණම අනුව නිහඬ ව හුදෙකලා ව මම යන්නෙමි. ‘ඔබේ නාමයට ආශිර්වාද වේවා!'

‘මගේ සෝ බර මිය යන පැයෙහි මම ඔබ අබිමුව පමණක් යදිමි. මට ද ජීවිතය සුන්දර වන්නට තිබිණ. නො කොඳුරන්න, මගේ අසරණ හදවත නො කොඳුරන්න. මගේ ආත්මය තුළින් මම මරණය කැඳවමි. එහෙත් මගේ හදවත ඔබ සඳහා කෙරෙන ප්රශංසාවෙන් පිරී ඇත. ‘ඔබේ නාමයට ආශිර්වාද වේවා!'

‘ඔබ වත් - ඔබ වටා සිටින අය වත් ඔබ කොතෙක් සුන්දර දැයි නො දනිති. වේලාව වදී. දැන් වේලාව හරි. මරණාසන්න, ජීවිතය අවසන් වන දුක්බර මොහොතේ මම තවමත් ගයමි - 'ඔබට මහිමය අත් වේ වා!'

‘දැන් එය - සාන්ත මරණය - පැමිණෙයි. එහෙත් 'ඔබට මහිමය අත් වේ වා!' යි මම කියමි.’

‘සැනසෙන්න, මගේ සොඳුරිය සැනසෙන්න. ඔබට මාව මතකද? මතකද? මගේ අන්තිම එක ම ප්රේමය ඔබ ය. සැනසෙන්න. මා ඔබ සමඟ ය. මා ගැන හිතන්න. මම ඔබ සමඟ එක් වෙමි. මන්ද යත් අප මොහොතකට ප්රේම කළ ද එය සදාකාලික ප්රේමයක් වන බැවිනි. ඔබට මාව මතකද? මතකද? ඔබගේ කඳුළු මට දැනේ. සැනසෙන්න, නින්ද මට බෙහෙවින් සුන්දර ය, බෙහෙවින් සුන්දර ය.’

05/11/2009
Posted in | 0 Comments »

No comments:

Post a Comment