Tuesday, March 30, 2010 by සචී
යාන්තම්
කළුවර වැටෙන කොට
වත්ත පාමුළ
දූරියන් ගස
වසාගෙන කෑ ගහපු
වවුලන්
එකෙක්වත් නැත
සඳත් සැඟවුණු
රැයේ පාළුව බිඳ දමන්නට....
පෙති හැළුණු මල්
නිදයි වැතිරී
අඳුර කැටි වුණු
ගස් සෙවන යට.....

30/03/2010
Posted in | 0 Comments »
Tuesday, March 30, 2010 by සචී
රිදී පාටට
ගහ කොළ තෙමන
සඳ එළිය විතරමයි
බලන්නට උන්නෙ මම
ඒත්..
නුඹ..අද..
හැංගිලා ඇයි
වළාකුළකට...?

30/03/2010
Posted in | 1 Comment »
Tuesday, March 30, 2010 by සචී
මෙතෙක් වූ ඉඩෝරෙට
නොමළ මහනෙල් පඳුර.....
අද
සිහිල් දිය පිරි
පොකුණ මැද හිඳ
රුවැති මලකුත් හිස පැළඳගෙන..
මල මත වැසූ
රතු පාට බත් කූරා ද සමඟම....

30/03/2010
Posted in | 0 Comments »
Monday, March 29, 2010 by සචී
පිපුණු කජු මල්වල..
ඉදුණු පුහුලම් වල
සුවඳ...
අරගෙන ඇවිත්
කොවුලාගෙ පණිවිඩයම.....!

30/03/2010
Posted in | 0 Comments »

පොළොවෙන් අහසට.....!

Sunday, March 28, 2010 by සචී
බිඳෙන් බිඳ මං දුන්නු.....
හෙමි හෙමින් එකතු වුණු......
කාටවත් නොපෙන්නා
තනියෙන් ම දරාගෙන
විඳවාපු.....
කැටි ගැහුණු වේදනා
එව්වාද මා වෙතට එක් වර ම…..
ටික දොහක් තියාගෙන
ආයෙමත් එවන්නට
නුඹ වෙත ම….?

28/03/2010
Posted in | 1 Comment »

~ අහස, පොළොවට....වැස්ස සමඟින් එවූ ලියමන....~

Sunday, March 28, 2010 by සචී
මෙතෙක් කල්
නුඹෙන් ලද
සියල්ල ම ඔන්න ආපසු...!
දැන් ඉතිං
අපට පුළුවන්
පටන් ගන්නට
අපේ කතාව
මුල ඉඳන්...

28/03/2010
Posted in | 0 Comments »
Saturday, March 27, 2010 by සචී
වෙනදාට
තනි තනිව
සීරු මාරුවට ඇවිද යන
කොක්කු
ඔක්කෝම අද
එක ලියැද්දක.
කන්න රැස්වීමක....?

27/03/2010
Posted in | 0 Comments »
Friday, March 26, 2010 by සචී
තාරකා ඉබ්බාගෙ
ඉතා හැඩ පිට කටුව
හැමෝටම පෙන්නගෙන.....
ලෝකෙන් ම සඟවගෙන
ඌ..උගේ
ගැහෙන හිත....!

26/03/2010
Posted in | 1 Comment »
Friday, March 26, 2010 by සචී
මුවෙහි විට තෙක්
පිරුණු කළයක
තවත් කෝ ඉඩ
දමන්නට දිය......

කොළත් නොපෙනෙන
ලෙසින් පොකුණක
නෙළුම් පිපි කල
ඕලු මොකටද...?

26/03/2010
Posted in | 0 Comments »
Thursday, March 25, 2010 by සචී
ගසින් ගිලිහී යන්ට
නියමිත ව කල් බලන
ඉදී ගිය කොළයකට......
ඇල්ලක් ව ඇද හැලෙනු
පිණිස
චණ්ඩව ගලන
දිය පහර මැද හිඳින
පුංචි පෙණ බුබුලකට......
හිතෙන්නේ මොනවාද
කාටවත් හිතුණා ද...?

25/03/2010
Posted in | 0 Comments »
Tuesday, March 23, 2010 by සචී
මුහුණ සිපගෙන හමන
සිහිල් මුදු මඳ පවන
කොහොම හංගන්නට ද
මිහිරිතම පණිවුඩය
මහ වැස්ස
ළඟ ම එන..!

23/03/2010
Posted in | 6 Comments »
Monday, March 22, 2010 by සචී
ඇරුණු කවුළුව
තුළින් ගෙට එන
මළානික සඳ එළියෙ තනියට.....
රෑ මනාලී සුවඳ
සමඟින්
තටු ගසා යන වවුලෙකු ගෙ හඬ...!

22/03/2010
Posted in | 6 Comments »

ඇට්ටේරියා මල විසිනි..!

Monday, March 22, 2010 by සචී
රෑ පිපී සුවඳ දෙමි
සිත තැවුල් නසාලමි
හෙට උදේ ඔබ පයට
සුසුදු පාවඩය වෙමි..

22/03/2010
Posted in | 1 Comment »
Monday, March 22, 2010 by සචී
නෙලා අතට ගත් විට
පෙති කැඩී ඉහිරෙන
ඇට්ටේරියා මල.....
විඳ ගනිමි
නුඹ සුවඳ පමණක්
සිත පුරා මම.

21/03/2010
Posted in | 0 Comments »

නොසංසිඳීම......!

Monday, March 22, 2010 by සචී

පිපී
අත ළඟ වැනී ගිය
මල් කැකුළ
ඉඩ තිබිණි
තව සොඳුරු වන්නට
පිපුණි නම්
අත පොවන්නට බැරි
කටු පඳුරක
ඉහළ අත්තක....


21/03/2010
Posted in | 0 Comments »
Monday, March 22, 2010 by සචී

පුර පෝය දවසට
පායන හඳට වැඩියෙන්
ලස්සනයි
පේන නොපෙනෙන ගණනට
යාන්තම් පායපු හඳ...


21/03/2010
Posted in | 0 Comments »
Monday, March 22, 2010 by සචී

ඊයේ
හාත්පස වසා
ඇද හැලුණු
අඳුරු පැහැ
වැසි තිරය
අද
දෙවැට වසා
ඇද හැලෙන
දම් පැහැති
තන්බර්ජියා
මල් තිරය


17/03/2010
Posted in | 0 Comments »
Monday, March 22, 2010 by සචී

අන්දර ගහේ
මුල් අතරේ
එක තරමේ
නුග පැළේකුත්
බෝ පැළේකුත්
තරඟෙට....!


17/03/2010
Posted in | 0 Comments »
Monday, March 22, 2010 by සචී

බිම පතිත වූව
කිසිදු වෙනසක් නැතිවම
සිත බැතින් පුරවන
අරලියා මලේ සුවඳ
කොයිතරම්
අපූරුද..?


16/03/2010

Posted in | 0 Comments »

~ කාලය ~

Monday, March 22, 2010 by සචී

එළා ලූ සුරත
ඇඟිලි අතරින්
ගලා හැලෙන දිය මෙනි
නුඹ...
බලා හිඳිනු හැර
වේ ද අන් පිළියම
මෙ දියත..?


14/03/2010
Posted in | 0 Comments »
Monday, March 22, 2010 by සචී

පිච්ච වැල
ඊයෙ බලන විට
ගත පුරා ම
දළු පැළඳගෙන..
කොහොමද දන්නෙ නෑ
දැන ගත්තෙ
රෑ වහින බව..?


14/03/2010

Posted in | 0 Comments »
Monday, March 22, 2010 by සචී

හැමදාම නැතත්
එනව නම්
ඉඳහිටවත් මෙහෙම
නුඹ
වැස්ස...!


14/03/2010

Posted in | 0 Comments »
Monday, March 22, 2010 by සචී

පියවෙන දෙනෙත්....
වැසි..
මල් මත පිනි..
බබළන ළ'පළු...
දිලෙන තණපත්...
ගලන දොළ..
එක්වර ම...දුම්රියේ නළා හඬ....
නැවතත්...
ඇස් කෙවෙන දුහුවිල්ල....!!!!


12/03/2010

Posted in | 0 Comments »
Monday, March 22, 2010 by සචී

කඩියන් සහ දිමියන්
කෙළි පිණිස වන්
පොර පිටියක් වට
ආරක්ෂාවට
කළු කූඹි.....!!!


12/03/2010

Posted in | 0 Comments »
Monday, March 22, 2010 by සචී

එගොඩ වුණ පසු
දොළ පහරකින්
අහලවත් තියෙනවද
කරේ ගෙනියන බවක්
උදව් වුණු
ඒ දණ්ඩ...?????

උයාගත් පසු
රහට කිරිහොදි
විසිනොකර මොනවටද
හොද්ද රස කරන්නට
දැමූ
කරපිංච කොළ...?????


12/03/2010

Posted in | 0 Comments »
Monday, March 22, 2010 by සචී

පොඩි කාලෙ
ආදරෙන්
හදපු
කඩදාසි ඔරු
වැහි වතුරෙ පාවෙලා
යනු බලා
තුටු වීමු....
ඉතිං
ඇයි....
අද මොකද...??


10/03/2010
Posted in | 0 Comments »

~දුගී යාචකයෙක්, සිටුවරයෙකුට......~

Monday, March 22, 2010 by සචී

නුඹේ ගෙවත්තේ
තාප්පය අයිනේ
වැඩුණු මහ ගසෙහි
අයිතිය නුඹට ය...
ඒත්
එහි සෙවණ
මට ය...


09/03/2010

Posted in | 0 Comments »

~ඉඳිකටු කොට්ටය....~

Monday, March 22, 2010 by සචී

රැගෙන අහුමුල්ලකින් එළියට
පිසැ'ර දූවිලි
මකුළු දැල් නෙක
ලෙහී ගිය තැන් මැසුවෙ කදිමට
අනින්නට බව
වටේටම කටු
හිතාගන්නට
නොහැකි වුණි
මට...!

09/03/2010

Posted in | 0 Comments »
Monday, March 22, 2010 by සචී

කැටක් වැටුණම
නිසල පොකුණට
දිය තරඟ නංවා
බොහෝ කොට
සෙමින් කිමිදී
ගොසින්
පතුළට
නතර වෙනු ඇත
සදා කාලෙට....

08/03/2010
Posted in | 0 Comments »
Monday, March 22, 2010 by සචී

සරුංගලේ,
නුඹ
ඈත ආකහේ
පාවෙන්නෙ නිදහසේ
නූල මා අතේ බව
දන්න හින්දා නේද?

08/03/2010

Posted in | 0 Comments »
Monday, March 22, 2010 by සචී

මුව විට තෙක් ම
පිරී ඇති විටෙක
තවත් ලදහොත් දිය
වාන් නොදමා ද
වැව...

පොළෝ ගැබ තුළ
පැසවනා ලෝ දිය
බුර බුරා නැගුණහොත්
තව
පුපුරා නොයා ද
යමහල...


06/03/2010
Posted in | 0 Comments »
Monday, March 22, 2010 by සචී

නිමා නොමැතිව
සුමුදු සඳ කැන්
එළිය ලබනට
සිහිල විඳිනට
මේ රාත්‍රිය

එළි නොවේ නම්....

රැය පුරා
නෙතු අතර රඳනා
මිහිරි සිහිනය
බොඳ නොවීමට
මේ රාත්‍රිය
එළි නොවේ නම්.....

දහවලේ
සැඩ හිරු කිරණ වැද
තැලී මැළැවී යාවි
සිත් මල
නපුරු හෙටකට
එනු නොහැකි ලෙස
මේ රාත්‍රිය
එළි නොවේ නම්.....


06/03/2010

Posted in | 0 Comments »
Monday, March 22, 2010 by සචී

බෙහෙත් බැඳ පිටිකර
පය බරවාය ට
මාරු කළ මුත් කොට්ටය
හිසේ රුදාව ට
පලක් නොමවිණ
අන්තිමේ බලන විට
ලෙඩා මිය ගොස් ඇත
බඩ සුද්ද වූවා ට


04/03/2010
Posted in | 0 Comments »
Monday, March 22, 2010 by සචී

එකිනෙකා
මූණ වත් නොබලන
අය
වෙන වෙන හිඳ
ගැයුවා
'
එක මවකගෙ දරු කැළ බැවින්
පමා වී නොයමු' යැයි...

03/03/2010
Posted in | 0 Comments »