සුනාමිය ගැන මගේ සමීපතම අත්දැකීම පුංචි නුඹ...නුඹේ මළණුවන්....දෙමාපියන්..!
අම්මා සමඟ විශ්ව විද්යාලෙට එන නුඹෙන් 'සිංදුවක් කියන්න' ඉල්ලන්නත් කලින් පුංචි නුඹ සුරතල් හඬින් ගයන්න පටන් අරං. "ජපන් රටේ උපත ලබා ලංකාවට ආවා" ගයන නුඹ 'මං වගේ' කියන්නේ අපි හැමෝම හිනස්සමින්...නුඹ එහෙම කියන්නේ, නුඹත් ඉපදුණේ අම්මාගේ පශ්චාත් උපාධි කාලයේ ජපානයේදී නිසයි....අපි කොයි තරම් විනෝද වුණාද පුංචි නුඹේ සුරතල් කතා වලට..!
මා 'එරන්දතී' කුස දරා හිටි කාලයේ, විශ්ව විද්යාලයේ ඉඳන් හවසට ගෙදර යන්න නුඹත්, නුඹේ අම්මාත් සමග එක් වෙනවා. ත්රි රෝද රියට ගොඩවුණු ගමන් නුඹ මගෙන් අහනවා "සචී ආන්ටි, සින්දුවක් කියන්නද?" මම "හා" කියන්නත් කලින් නුඹ පුංචි කවි සින්දු ගයන්න පටන් ගන්නවා නුඹට සුපුරුදු පරිදි. "අපොයි සචී, අල්ල ගත්තා නේද කොටි වලිගෙ? දැං ඔයාට නවත්තගන්න හම්බ වෙන්නෙ නෑ.."..නුඹේ අම්මා හිනා වෙනවා...
ඊටත් අවුරුදු එකහමාරකට විතර කලින්, නුඹේ මල්ලි මෙලොව එළිය දුටු පේරාදෙණිය රෝහලේ ඉඳලා පුංචි එකාවයි නුඹේ අම්මාවයි ගෙදර එක්ක යන්න අජන්තා මැඩම් එක්ක මමත් ගියා.වාහනෙන් බැහැලා ගෙදරට යන්න තියෙන පොඩි දුර යද්දි පුංචි එකාට අව්ව වැටෙයි කියලා මම මොන තරම් මහන්සියක් ගත්තද කුඩේ හරියට අල්ලන්න? එදා එහෙම අව් රැල්ලෙන් බේර ගත්තු පුංචි කොල්ලා, සුනාමි රැල්ලට අහු වෙලා වැටකේ ගාලක් අස්සේ රැඳිලා ඉඳලා දවස් දෙකකට පස්සේ හම්බ උනා කියලා දැන ගත්තම හිත හඬා වැටුණ හැටි නුඹ ඉතිං කවදාවත් දැන ගන්නෙ නෑ....
එදා අරලිය ගසින් හෙවණ උන හොරණ සොහොන් බිමේ 'ප්රබෝධා' පුංචි දුවේ, 'චාමිකර' පුංචි පුතේ,නුඹ දෙපසින් 'රමණි' අම්මාත්, 'උපුල්' තාත්තාත් නිදා සිටිද්දී අපි ආපහු එන්න ආවේ නෑවිත් බැරි නිසා.....!!
ආවොත් නොගොස් බැරිය...නොගියොත් එන්ට බැරිය.....
ඉතිං ආපහු ඇවිත් යන්න වරෙන්......!
26/12/2009
No comments:
Post a Comment