Disappointment...

Tuesday, October 5, 2010 by සචී
තුරු හිසක
අතු පතර රැඳවුණ
සරුංගලයක්

ඈත අහසට
යොමාගත් නෙත
පාළු බැල්මක්

05/10/2010
Posted in | 1 Comment »

බලාපොරොත්තුව...

by සචී
පිපී සුළඟේ නටන
උක් මලක්...
අසල ඇති
දිය තලය මත පෙනෙන
ඇගේ රුව
කිමිද යන කෙකින්නක්
විලස ගෙන
ඈ දියෙන් මතුව එන
මොහොත දැන් දැන් වෙතැයි
උණුසුම් ව
නොසෙල් වී
ඒ දෙස ම
බලා හිඳිනා කොකෙක්...

02/10/2010
Posted in | 1 Comment »

බක තපස්.....

Tuesday, September 21, 2010 by සචී
බොර දියේ පිපුණු
ඕලු මල් අසල
දැහැන් ගත වූ කොකා
දකින්නට නැතිව ඇති
ඕලු කොළ යට නටන
තිත්ත පැටවුන් රෑන..?

21/09/2010
Posted in | 4 Comments »

බිනර.....!

Monday, September 13, 2010 by සචී
සුළඟේ සැලෙන
කහපාට කොළ අතරින්
එබිකම් කරන
අලුත් බිනර උණ රිකිලි....

13/09/2010
Posted in | 0 Comments »

සෙක්කු..!

Wednesday, September 8, 2010 by සචී
එකම වට
නැවත නැවතත් සපුරන
ගොනු දැක
අන් කුමක් කරන්නද
ක්ලාන්තව
ඇද වැටෙනු හැර
සෙක්කු ගල..!

ප්‍රස්තුතය: උදේ සවස යන එන විට දකින
ඇද වැටුණු සෙක්කු ගලක්.

08/09/2010
Posted in | 0 Comments »

Again..!

Wednesday, September 1, 2010 by සචී
ඔන්න ආයෙත්
හැර දැමුණු
කවුළුවෙන් ගෙට ඇවිත්
ඇට්ටේරියා සුවඳැ'ති
සීතල සඳ පහන...

2010/09/01
Posted in | 2 Comments »

සඳ පහන.....

Friday, August 27, 2010 by සචී
ගොඩ බිමට පාර කී
පහන් ටැඹ
විහිදි එළියට වඩා
සරැළි දිය මත දිලී
දියඹ වෙත මග කීව
සඳ පහන
රසඳුනක් වූ අරුම..!

නිමිත්ත: පසුගිය ඇසළ පෝදා සැන්දෑවේ පොල්හේන වෙරළේ දී දුටු සොඳුරු දසුන
Posted in | 1 Comment »

....................!

Thursday, August 12, 2010 by සචී
කොඳ කුමුදු පිපෙන්නේ
සඳ කිරණ වැදී මිස
කණමැදිරි එළියටැයි
කවුරුවත් කීවාද...?

පෙර'ඹරින් හිරු නැගී
අලු විහිදි කල විනා
මැටි පහන් එළියකට
නෙළුම් මල් පිපුණා ද..?

13/08/2010
Posted in | 0 Comments »

වැරදීම...!

Wednesday, August 4, 2010 by සචී
බාගෙට ඉදුණ
ජැම්සන් ගෙඩියක්
කෑව පැණි කුරුල්ලෙක්
බැණ අඬ ගාන්නටත් නොහැකිව
හොට ඇලී
කේන්තියෙන්......

04/08/2010
Posted in | 0 Comments »

පැටලීම....!

Friday, July 30, 2010 by සචී
උදෑසන
තණ බිස්ස මත
මකුළු දැලක රැඳවුණ...
හිරු රැස් වැදී දිලිසෙන
පිනි බින්දුවක්....
එහි රුවින් මත් වී
තමාගෙම වියමනෙහි පැටළුන
මකුළුවෙක්....!

30/07/2010
Posted in | 3 Comments »

Rejuvenation...

Saturday, July 17, 2010 by සචී
සඳලුතලයට විහිදුණ
කොස් අත්ත
පා කරන්නිය සුළඟට
වරින් වර
සිය වියළි කොළ..
ඉඩ දෙනු පිණිස
අලුත් දළු වලට.

17/07/2010
Posted in | 1 Comment »

ඇසළ සඳ..

Friday, July 9, 2010 by සචී
නළල දිග
සින්දූර ගලා ගිය
කළුම කළු දැළි සුසුම්
අහස් කුස ඉඹ ගත්ත.....,
පාළු මූසල රෑක
වෙඩි වැදී
තනි තරුව බිම වැටුණ....,
කඳුළු මතකය අරන්
හෙමි හෙමින් නැගෙනවා
ඇසළ සඳ...!

09/07/2010
Posted in | 3 Comments »

Lovely jealousy..!

Wednesday, July 7, 2010 by සචී
හිරු දැක පිපුණ
මහනෙල් කැකුළ අබියස
ඉරිසියාවෙන් රතුව
බත් කූරෙක්....
මහනෙල් කැකුළ
ඒ ගැන තුටින්...
මඳ සිනා පාමින්...

07/07/2010
Posted in | 1 Comment »

පොද වැස්ස....!

Monday, July 5, 2010 by සචී
අද පිපී
හෙට මියෙන
අහිංසක
බිම් මල් රැගෙන
ආයෙමත් ඇවිත්..
සියුම් තුඩු දහසක් වගේ
මුහුණත වැදෙන
හීනි පොද වැස්ස....!

05/07/2010
Posted in | 0 Comments »

Negligible.......

Sunday, July 4, 2010 by සචී
දියවෙලා තියෙන ලුණු
නොසළකා හැරිය විට
සප්ත මහ සාගරේ
පිරෙන්නම ඇත
වතුර..!

30/06/2010
Posted in | 7 Comments »

ලේනා

Sunday, June 27, 2010 by සචී
අත්තෙන් අත්තට
පනින ලේනා.
රෑ පුරා එකතු වී
අතු අග රැඳී හිඳ
බිම පතිත වෙන
සඳ කඳුළු ගැන
වගකුදු නැතිව...!

27/06/2010
Posted in | 0 Comments »

Why should I..?

Saturday, June 26, 2010 by සචී
මම කුමට
ලිය ළදල්ලක් වෙම්
නුඹ හමායන විටදි
සසැලෙන

මම කුමට
නා ලියක් වන්නෙම්
නුඹ වයන තාලයට
නැටවෙන

ප්‍රස්තුතය: දුම් රිය පොළේදි යුවතියක් හැඬුම්බර හඬින් සිය ජංගම දුරකතනයට..
"මට තවත් ඔයා ගහන පදේට නැටවෙන්න බෑ..."

26/06/2010
Posted in | 0 Comments »

Someday....!

Wednesday, June 23, 2010 by සචී
හිම ගිර ද
ග්ලැසියර ද
කවදාක හරි
සැඩ හිරුරැස් වැදී
දියවී යන්න නියමිත....

කවදාක හරි...!

23/06/2010
Posted in | 0 Comments »

Raavan...

Saturday, June 19, 2010 by සචී
ගල් ගැහුණු සිරුරකට
පණ ගැහෙන හදවතක් තිබුණා
රකුසු නෙත් කෙවෙණි යට
කඳුළු බින්දුවක තෙත දැණුනා

සංසාර සෙවණැල්ල
ගිනි පිරික්සුමක වැද දැවුණා
පෑ සුරත දිග මදි ය
නුඹව සදහටම මග හැරුණා

ප්‍රස්තුතය: මනි රත්නම් ගේ 'රාවණ්'

19/06/2010
Posted in | 0 Comments »

සමාප්තිය...!

Wednesday, June 16, 2010 by සචී
දැල්වෙමින් හුන් මැටි පහන...
බොහෝ සුදීප්ත ව
නිමේෂයක්...
එක්වනම
අලුවට සමු දුන්නා ය
අළු ඉතිරි කොට ගෙන....

16/06/2010
Posted in | 0 Comments »

පුනරුත්පත්ති....!

Monday, June 14, 2010 by සචී
බොහෝ කලකට පෙර
අකුණු සර පතිත වී
හිස...
මිය ඇදුණ නුග ගසෙහි
කඳ මත
සරුවට වැඩුණු පඳුරක
නම නොදත් රතු මලක්
මනාව පිපී...
සුළඟෙහි වැනෙමින්...!

14/06/2010
Posted in | 2 Comments »

නුඹ....!

Sunday, June 13, 2010 by සචී
නුඹ
මගේ හද උපන්
සියපත ය
කිසිම දා කිසිවෙකුට
නෙළා ගන්නට නොහැකි...

නුඹ
මගේ සිත් අහස
තාරපති
වළාකුළකට කොහෙත්
වසා ගන්නට නොහැකි...

නුඹ
ම'හද වෙරළ රැඳි
මුතු කැටකි
කිසිදු රළ පහරකට
රැගෙන යන්නට නොහැකි...

නුඹ
ම'සිත නිබඳ දිලි
පහන් සිල
කිසි පවන් රැල්ලකට
නිවා ලන්නට නොහැකි...

13/06/2010
Posted in | 4 Comments »

සුළඟ....

by සචී
සුළඟ....
අලුත් කොළ මිදුලට රැගෙන විත්...
මිදුලෙ වූ කොළ කැඳවගෙන යන....!

13/06/2010
Posted in | 1 Comment »

Reality....!

Saturday, June 12, 2010 by සචී
ගඟ හඬාගෙන ඇවිත්
කියූ දුක් ගිනි
හෙලූ කඳුළැලි
දරා ගත්ත ද සයුර
කිසි දොසක් නොනඟා ම..
සයුරු දුක් වඩදිය ගැලූ සඳ
ඈ කඳුළු දිය බාර ගන්නට
ගඟක් කවදා කැමති වේවි ද..?

12/06/2010
Posted in | 1 Comment »

Deafening dumbness.....

Wednesday, June 9, 2010 by සචී
ධනුෂ්කා නිශාදි කුලරත්න ගේ කවියක් නිසා ලියවුණකි.

අතොරක් නොමැතිව දොඩවන
ගොළු නුඹ හා මම
නංවන..
නිහඬබවේ ඝෝෂාවෙන්
බිහිරි ව ගොස් ඇත
දෙසවන...!

09/06/2010
Posted in | 2 Comments »

Hope..!

by සචී
මහනෙල් කොළයක් මත
රතු පාට බත් කූරෙක්
මහත් ඉවසිල්ලකින්.......
තවම දිය යට හිඳින
පුංචි මහනෙල් කැකුළ
පොකුණ මතු පිටට විත්
පෙති විදා පිපෙන තෙක්..!

09/06/2010
Posted in | 0 Comments »

හුදෙකලාව...!

Friday, June 4, 2010 by සචී
කොයි තරම් තරු ඇතත්
පාළු කපමින් අවට
තනිකමින් සුසුම් ලයි
පුංචි ඉරබටු තරුව...
සඳ නොමැති රෑ අහස
දරා ගන්නට බැරිව...!

04/06/2010

Posted in | 2 Comments »

මතක මළගම....

Monday, May 31, 2010 by සචී
සඳ වළාවක හැංගුණ
දසතම අඳුර රජ වුණ
පාළු හැන්දෑ යාමෙක
මිය ගියා මගෙ සිහිනය...

මාලතී මල් සුපිපෙන
දෙණි බිමක..නුග සෙවණක
මිහිදන් කළෙමි එ'සිහින
සීරුවට ගෙන දෝතින...

සොහොන් බිම මත විසිරුණ
වියළි පර මල් පිසලන
නුග මුල් සොවින් බර වුණ
සැලෙද්දී මඳ පවනට....

බොඳවුණු නෙතින් වැගිරුණ
කඳුළු පැන් තෙල් වත් කොට
හිතේ ගින්නෙන් දැල්වුව
පහනක් තබා තනියට....

අගුළු ලෑ හිත තනිවම
හඬද්දී හොර රහසෙම
බරැති පියවර තබමින
නික්ම ආවෙමි සදහට......!

31/05/2010
Posted in | 1 Comment »

වෙසක් සඳ..........

Friday, May 28, 2010 by සචී
වෙසක් බලන්නටත් නොගොහින්
සඳ ඇවිත්......
කොස් ගහේ නතර වී.......
දුක සැප අහන හැටි
වටේ දැවටී ඉන්න
වළාවන්ටත් හොරෙන්.....!!!!

28/05/2010
Posted in | 1 Comment »

........................

Wednesday, May 26, 2010 by සචී
සොඳුරු වුව
නොමැති කිසි පල
මල්-පැපොල් ගහේ මල්
පිපී පරවී බිම හැලී යන...!

27/05/2010
Posted in | 1 Comment »

පොද වැහි........

Friday, May 21, 2010 by සචී
හිත් පොකුණ මත වැටී
ලොකු රැළි
කුඩා රැළි
නඟන
හිතිවිලි වැහි බිංදු......!

21/05/2010
Posted in | 0 Comments »

...................

by සචී
දුක සැප අහන්නට
හැමදාම පැමිණෙන
කහ කුරුල්ලාගෙ බැල්මට
විළි වැදී
රෝස පැහැ ගැන්වුණු
ලා කහ පාට කුරුඳු දළු....

22/05/2010
Posted in | 0 Comments »

හැඳිනීම..........

Thursday, May 20, 2010 by සචී
කැදැල්ලේ උණුහුම
හොඳින් හඳුනන නිසා
සිතූ දුර පියාඹන
සියොතුන්....

21/05/2010
Posted in | 1 Comment »

අපි....!

Tuesday, May 18, 2010 by සචී
මම
වැහි දියෙන් පෙඟී ගිය
දිරාපත් ගස් කඳක්..
ඔබ
ඒ මත පිපුණ....
වැහි වළාවෙන් මිදුන
හඳ එළියෙ දිලිසෙන
එකම එක
බිම් මලක්...

19/05/2010
Posted in | 2 Comments »

ආයෙමත් මල්......

Monday, May 17, 2010 by සචී
මල් වරා
දළු පැළැඳි
සේපාලිකා ගහේ
ආයෙමත්
මල් ඇවිත්..!

18/05/2010


Posted in | 0 Comments »

නොනවතින වැහි..!

Sunday, May 16, 2010 by සචී
මැරුණු තණපත්
වත්ත පහළට අරන් යන්නට..
ගහ කොළට
දළු දම්මවා
නව පණක් දෙන්නට
පිච්ච වැල්
සුදු මලින් ගවසා හැඩ බලන්නට
ඔන්න ඇවිදින්
නොනවතින වැහි..!

16/05/2010
Posted in | 0 Comments »

බව දුක..!

by සචී
හිතේ හැටියට
නිවී හැනහිල්ලෙ
නිදන්නට ඉඩ නොදෙන
වදකාර
ගෙමැස්සා..!

16/05/2010
Posted in | 3 Comments »

අහස....

Wednesday, May 12, 2010 by සචී
අහස....
කරුණාවන්ත.
කළු කරගෙන මූණ...
හංගගෙන කඳුළු....
එව්වෙ කහමල් විතරමයි..
ගහ අත...
මම ඒ යටින් යනකොට..!

13/05/2010
Posted in | 0 Comments »

Re-birth..!

by සචී
ගින්නට හසුව
මිය ගියේ යැයි සිතුව
ගස් කඳක
රතු පාට
නැවුම් දල්ලක්..!

12/05/2010
Posted in | 1 Comment »

අවසර..!

Monday, May 10, 2010 by සචී
වරින් වර
අහස වෙත
තටු සළා ඉගිළ ගිය
සමණළුන්
යවමි මම
සිසිර තරු නින්දකට.......

උන් මෙතෙක්
තටු සැලූ
රිද්මයට සසල වුණු
අවසාන
පවන් රොද...
අවසරයි වියැකෙන්න....!

10/05/2010
Posted in | 0 Comments »

...................

Sunday, May 9, 2010 by සචී
උඩ ඉගිලෙන මෙරු..
මගුල් බතට
පේළියට
වාඩිවුණ කවුඩෝ...

09/05/2010
Posted in | 0 Comments »

........................

Friday, May 7, 2010 by සචී
පාවෙලා යන
වළා රොද නුඹ
සුසුම් සිරවුණු
ගිරි සිරස මම

හමාගෙන යන
පවන් රළ නුඹ
සෙමෙන් සසැලෙන
තුරු හිසයි මම

දියඹ වෙත යන
සයුරු රළ නුඹ
බලා හිඳිනා
වෙරළ වෙමි මම

සැඟවිලා යන
සැඳෑ හිරු නුඹ
දෑස රතු වුණ
අහස් කුස මම

08/05/2010

Posted in | 2 Comments »

ඔබ......!

by සචී
දවල් තිස්සේ
ගත පුළුස්සා
රැයේ
සඳ අත
සොමි කිරණ
එවන
හිරු..!

07/05/2010
Posted in | 1 Comment »

අලුයම් සිහිනය

Wednesday, May 5, 2010 by සචී
අලුයම් සිහිනය:
අළු ගොඩක් මත
මෙරු පියාපත්.....!

05/05/2010
Posted in | 1 Comment »

Inevitable..?

Tuesday, May 4, 2010 by සචී
මඳ පවන...
පාවී ආ වරා මලක්
වක්කළමක
දිය සුළියක....

05/05/2010
Posted in | 1 Comment »
Saturday, May 1, 2010 by සචී
රෑට රෑට හොරෙන් අඬන
අහසේ
දුක බෙදා ගන්න
ගේ දොරකඩ පිච්ච වැලත්
මල් සේරම
බිම හලාන..!

02/05/2010
Posted in | 0 Comments »
by සචී
වේදනා හේදෙන්න
හඬාගෙන වැටුණාද
හිතේ නැගි අකුණු සර
වසංගනු හැකි වීද
මේ තරම් ඉක්මනට
හිත හදා ගත්තාද..
තරු එක්ක හිනැහෙන්නෙ
බොරුවට ද
නුඹ
අහස?

01/05/2010
Posted in | 0 Comments »
Friday, April 30, 2010 by සචී
ඊයෙ රෑ ඉකි බින්ද
අහස ගැන
වගක් වත් නෑ වගෙයි
කවුළුවෙන් එබීගෙන
සිනාසෙන
නැවුම් අලුයම් හඳට...!

01/05/2010
Posted in | 0 Comments »
by සචී
නුඹ
බක් මහ.
ඇවිත් ගිය දා පටන්
මගේ හිත් අහසේ
අකුණු...!!

01/05/2010
Posted in | 0 Comments »
Thursday, April 29, 2010 by සචී
ඊයෙ තිබුණු
මන්දාරමේ හැටියට
කොහොමවත් හිතුණෙ නෑ
දකින්නට හැකියැ‍යි
අද
මේ තරම් පැහැදිලිව...

29/04/2010
Posted in | 0 Comments »