ලේනා

Sunday, June 27, 2010 by සචී
අත්තෙන් අත්තට
පනින ලේනා.
රෑ පුරා එකතු වී
අතු අග රැඳී හිඳ
බිම පතිත වෙන
සඳ කඳුළු ගැන
වගකුදු නැතිව...!

27/06/2010
Posted in | 0 Comments »

Why should I..?

Saturday, June 26, 2010 by සචී
මම කුමට
ලිය ළදල්ලක් වෙම්
නුඹ හමායන විටදි
සසැලෙන

මම කුමට
නා ලියක් වන්නෙම්
නුඹ වයන තාලයට
නැටවෙන

ප්‍රස්තුතය: දුම් රිය පොළේදි යුවතියක් හැඬුම්බර හඬින් සිය ජංගම දුරකතනයට..
"මට තවත් ඔයා ගහන පදේට නැටවෙන්න බෑ..."

26/06/2010
Posted in | 0 Comments »

Someday....!

Wednesday, June 23, 2010 by සචී
හිම ගිර ද
ග්ලැසියර ද
කවදාක හරි
සැඩ හිරුරැස් වැදී
දියවී යන්න නියමිත....

කවදාක හරි...!

23/06/2010
Posted in | 0 Comments »

Raavan...

Saturday, June 19, 2010 by සචී
ගල් ගැහුණු සිරුරකට
පණ ගැහෙන හදවතක් තිබුණා
රකුසු නෙත් කෙවෙණි යට
කඳුළු බින්දුවක තෙත දැණුනා

සංසාර සෙවණැල්ල
ගිනි පිරික්සුමක වැද දැවුණා
පෑ සුරත දිග මදි ය
නුඹව සදහටම මග හැරුණා

ප්‍රස්තුතය: මනි රත්නම් ගේ 'රාවණ්'

19/06/2010
Posted in | 0 Comments »

සමාප්තිය...!

Wednesday, June 16, 2010 by සචී
දැල්වෙමින් හුන් මැටි පහන...
බොහෝ සුදීප්ත ව
නිමේෂයක්...
එක්වනම
අලුවට සමු දුන්නා ය
අළු ඉතිරි කොට ගෙන....

16/06/2010
Posted in | 0 Comments »

පුනරුත්පත්ති....!

Monday, June 14, 2010 by සචී
බොහෝ කලකට පෙර
අකුණු සර පතිත වී
හිස...
මිය ඇදුණ නුග ගසෙහි
කඳ මත
සරුවට වැඩුණු පඳුරක
නම නොදත් රතු මලක්
මනාව පිපී...
සුළඟෙහි වැනෙමින්...!

14/06/2010
Posted in | 2 Comments »

නුඹ....!

Sunday, June 13, 2010 by සචී
නුඹ
මගේ හද උපන්
සියපත ය
කිසිම දා කිසිවෙකුට
නෙළා ගන්නට නොහැකි...

නුඹ
මගේ සිත් අහස
තාරපති
වළාකුළකට කොහෙත්
වසා ගන්නට නොහැකි...

නුඹ
ම'හද වෙරළ රැඳි
මුතු කැටකි
කිසිදු රළ පහරකට
රැගෙන යන්නට නොහැකි...

නුඹ
ම'සිත නිබඳ දිලි
පහන් සිල
කිසි පවන් රැල්ලකට
නිවා ලන්නට නොහැකි...

13/06/2010
Posted in | 4 Comments »

සුළඟ....

by සචී
සුළඟ....
අලුත් කොළ මිදුලට රැගෙන විත්...
මිදුලෙ වූ කොළ කැඳවගෙන යන....!

13/06/2010
Posted in | 1 Comment »

Reality....!

Saturday, June 12, 2010 by සචී
ගඟ හඬාගෙන ඇවිත්
කියූ දුක් ගිනි
හෙලූ කඳුළැලි
දරා ගත්ත ද සයුර
කිසි දොසක් නොනඟා ම..
සයුරු දුක් වඩදිය ගැලූ සඳ
ඈ කඳුළු දිය බාර ගන්නට
ගඟක් කවදා කැමති වේවි ද..?

12/06/2010
Posted in | 1 Comment »

Deafening dumbness.....

Wednesday, June 9, 2010 by සචී
ධනුෂ්කා නිශාදි කුලරත්න ගේ කවියක් නිසා ලියවුණකි.

අතොරක් නොමැතිව දොඩවන
ගොළු නුඹ හා මම
නංවන..
නිහඬබවේ ඝෝෂාවෙන්
බිහිරි ව ගොස් ඇත
දෙසවන...!

09/06/2010
Posted in | 2 Comments »

Hope..!

by සචී
මහනෙල් කොළයක් මත
රතු පාට බත් කූරෙක්
මහත් ඉවසිල්ලකින්.......
තවම දිය යට හිඳින
පුංචි මහනෙල් කැකුළ
පොකුණ මතු පිටට විත්
පෙති විදා පිපෙන තෙක්..!

09/06/2010
Posted in | 0 Comments »

හුදෙකලාව...!

Friday, June 4, 2010 by සචී
කොයි තරම් තරු ඇතත්
පාළු කපමින් අවට
තනිකමින් සුසුම් ලයි
පුංචි ඉරබටු තරුව...
සඳ නොමැති රෑ අහස
දරා ගන්නට බැරිව...!

04/06/2010

Posted in | 2 Comments »