මතක මළගම....

Monday, May 31, 2010 by සචී
සඳ වළාවක හැංගුණ
දසතම අඳුර රජ වුණ
පාළු හැන්දෑ යාමෙක
මිය ගියා මගෙ සිහිනය...

මාලතී මල් සුපිපෙන
දෙණි බිමක..නුග සෙවණක
මිහිදන් කළෙමි එ'සිහින
සීරුවට ගෙන දෝතින...

සොහොන් බිම මත විසිරුණ
වියළි පර මල් පිසලන
නුග මුල් සොවින් බර වුණ
සැලෙද්දී මඳ පවනට....

බොඳවුණු නෙතින් වැගිරුණ
කඳුළු පැන් තෙල් වත් කොට
හිතේ ගින්නෙන් දැල්වුව
පහනක් තබා තනියට....

අගුළු ලෑ හිත තනිවම
හඬද්දී හොර රහසෙම
බරැති පියවර තබමින
නික්ම ආවෙමි සදහට......!

31/05/2010
Posted in | 1 Comment »

වෙසක් සඳ..........

Friday, May 28, 2010 by සචී
වෙසක් බලන්නටත් නොගොහින්
සඳ ඇවිත්......
කොස් ගහේ නතර වී.......
දුක සැප අහන හැටි
වටේ දැවටී ඉන්න
වළාවන්ටත් හොරෙන්.....!!!!

28/05/2010
Posted in | 1 Comment »

........................

Wednesday, May 26, 2010 by සචී
සොඳුරු වුව
නොමැති කිසි පල
මල්-පැපොල් ගහේ මල්
පිපී පරවී බිම හැලී යන...!

27/05/2010
Posted in | 1 Comment »

පොද වැහි........

Friday, May 21, 2010 by සචී
හිත් පොකුණ මත වැටී
ලොකු රැළි
කුඩා රැළි
නඟන
හිතිවිලි වැහි බිංදු......!

21/05/2010
Posted in | 0 Comments »

...................

by සචී
දුක සැප අහන්නට
හැමදාම පැමිණෙන
කහ කුරුල්ලාගෙ බැල්මට
විළි වැදී
රෝස පැහැ ගැන්වුණු
ලා කහ පාට කුරුඳු දළු....

22/05/2010
Posted in | 0 Comments »

හැඳිනීම..........

Thursday, May 20, 2010 by සචී
කැදැල්ලේ උණුහුම
හොඳින් හඳුනන නිසා
සිතූ දුර පියාඹන
සියොතුන්....

21/05/2010
Posted in | 1 Comment »

අපි....!

Tuesday, May 18, 2010 by සචී
මම
වැහි දියෙන් පෙඟී ගිය
දිරාපත් ගස් කඳක්..
ඔබ
ඒ මත පිපුණ....
වැහි වළාවෙන් මිදුන
හඳ එළියෙ දිලිසෙන
එකම එක
බිම් මලක්...

19/05/2010
Posted in | 2 Comments »

ආයෙමත් මල්......

Monday, May 17, 2010 by සචී
මල් වරා
දළු පැළැඳි
සේපාලිකා ගහේ
ආයෙමත්
මල් ඇවිත්..!

18/05/2010


Posted in | 0 Comments »

නොනවතින වැහි..!

Sunday, May 16, 2010 by සචී
මැරුණු තණපත්
වත්ත පහළට අරන් යන්නට..
ගහ කොළට
දළු දම්මවා
නව පණක් දෙන්නට
පිච්ච වැල්
සුදු මලින් ගවසා හැඩ බලන්නට
ඔන්න ඇවිදින්
නොනවතින වැහි..!

16/05/2010
Posted in | 0 Comments »

බව දුක..!

by සචී
හිතේ හැටියට
නිවී හැනහිල්ලෙ
නිදන්නට ඉඩ නොදෙන
වදකාර
ගෙමැස්සා..!

16/05/2010
Posted in | 3 Comments »

අහස....

Wednesday, May 12, 2010 by සචී
අහස....
කරුණාවන්ත.
කළු කරගෙන මූණ...
හංගගෙන කඳුළු....
එව්වෙ කහමල් විතරමයි..
ගහ අත...
මම ඒ යටින් යනකොට..!

13/05/2010
Posted in | 0 Comments »

Re-birth..!

by සචී
ගින්නට හසුව
මිය ගියේ යැයි සිතුව
ගස් කඳක
රතු පාට
නැවුම් දල්ලක්..!

12/05/2010
Posted in | 1 Comment »

අවසර..!

Monday, May 10, 2010 by සචී
වරින් වර
අහස වෙත
තටු සළා ඉගිළ ගිය
සමණළුන්
යවමි මම
සිසිර තරු නින්දකට.......

උන් මෙතෙක්
තටු සැලූ
රිද්මයට සසල වුණු
අවසාන
පවන් රොද...
අවසරයි වියැකෙන්න....!

10/05/2010
Posted in | 0 Comments »

...................

Sunday, May 9, 2010 by සචී
උඩ ඉගිලෙන මෙරු..
මගුල් බතට
පේළියට
වාඩිවුණ කවුඩෝ...

09/05/2010
Posted in | 0 Comments »

........................

Friday, May 7, 2010 by සචී
පාවෙලා යන
වළා රොද නුඹ
සුසුම් සිරවුණු
ගිරි සිරස මම

හමාගෙන යන
පවන් රළ නුඹ
සෙමෙන් සසැලෙන
තුරු හිසයි මම

දියඹ වෙත යන
සයුරු රළ නුඹ
බලා හිඳිනා
වෙරළ වෙමි මම

සැඟවිලා යන
සැඳෑ හිරු නුඹ
දෑස රතු වුණ
අහස් කුස මම

08/05/2010

Posted in | 2 Comments »

ඔබ......!

by සචී
දවල් තිස්සේ
ගත පුළුස්සා
රැයේ
සඳ අත
සොමි කිරණ
එවන
හිරු..!

07/05/2010
Posted in | 1 Comment »

අලුයම් සිහිනය

Wednesday, May 5, 2010 by සචී
අලුයම් සිහිනය:
අළු ගොඩක් මත
මෙරු පියාපත්.....!

05/05/2010
Posted in | 1 Comment »

Inevitable..?

Tuesday, May 4, 2010 by සචී
මඳ පවන...
පාවී ආ වරා මලක්
වක්කළමක
දිය සුළියක....

05/05/2010
Posted in | 1 Comment »
Saturday, May 1, 2010 by සචී
රෑට රෑට හොරෙන් අඬන
අහසේ
දුක බෙදා ගන්න
ගේ දොරකඩ පිච්ච වැලත්
මල් සේරම
බිම හලාන..!

02/05/2010
Posted in | 0 Comments »
by සචී
වේදනා හේදෙන්න
හඬාගෙන වැටුණාද
හිතේ නැගි අකුණු සර
වසංගනු හැකි වීද
මේ තරම් ඉක්මනට
හිත හදා ගත්තාද..
තරු එක්ක හිනැහෙන්නෙ
බොරුවට ද
නුඹ
අහස?

01/05/2010
Posted in | 0 Comments »